රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක සහ ප්‍රේමලාල් ජයසේකර රඳවා සිටින කොළඹ බන්ධනාගාර රෝහලේ වාට්ටු අංක තුනේ සවිකර තිබූ විදුලි පුවරුව (ස්විච් බෝඩ්) ඊයේ (03) අලුයම පුපුරා ගොස් සුළු ගින්නක් හටගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
බන්ධනාගාර රෝහලේ සවිකර ඇති අධිබලැති වායු සමීකරණයක් හේතුවෙන් ඊට ඔරොත්තු නොදෙන විදුලි ධාරිතාවක් වැයවීම හේතුවෙන් මෙම විදුලි කාන්දුවට අදාළ පුවරුව මෙසේ පුපුරා ගොස් ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (03) අලුයම 1.00ට පමණ ඇති වූ මෙම ගින්න සේවා මුර නිමා කර යෑමට සූදානම් වූ බන්ධනාගාර නිලධාරීන් විසින් ජලය දමා නිවා දමා ඇත.
මෙම ගිනි ගැනීමෙන් අදාළ විදුලි පුවරුව සම්පූර්ණයෙන්ම අළු වී විනාශ වී ගොස් ඇති බවත් යම් හෙයකින් මෙය විශාල ගින්නක් බවට පරිවර්තනය වූයේ නම් අදාළ බන්ධනාගාර නිලධාරීන් සතුව ගිනිනිවීමේ උපකරණ කිසිවක් නොතිබූ බවත් බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
වසර ගණනක් පැරණි බන්ධනාගාර රෝහල් ගොඩනැගිල්ලට ඔරොත්තු නොදෙන තරම් අධි බලැති වායු සමීකරණ යන්ත්‍රයක් සවි කිරීම තුළින් මෙම සිද්ධිය ඇතිවී තිබේ.
මෙම ගින්නත් සමග එම වාට්ටුවේම රඳවා සිටි රැඳවියන් ඉන් පිටතට යාමට පවා උත්සුක වී ඇත.
තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා රඳවනු ලැබූ දිනයේම වාට්ටුව තුළ ගින්නක් ඇතිවී එය විශාල වූයේ නම් එය කුමන්ත්‍රණකාරී තත්ත්වයක් ලෙස පිටතට වාර්තා වීමට ඉඩ තිබූ බව උසස් බන්ධනාගාර නිලධාරීන් අතර කතාබහක් පැතිර ගිය බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
මෙම වාට්ටුවේම ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාද රඳවා සිටී. ඊයේ (3) සවස වන විටත් මෙම විදුලි යතුරු පුවරුව යළිත් සකස් කර නොමැති බවත් මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලේ බෙහෙත් ගබඩාවේ ශීතකරණයේ තබා ගත යුතු බෙහෙත්වල තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (3) සවස අප බන්ධනාගාර කොමසාරිස් චන්ද්‍රරත්න පල්‍ලේගම මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කිසිදු නිලධාරියකු තමන් දැනුම්වත් කර නොමැති බවයි. බන්ධනාගාර රෝහලේ රජයේ කාර්යභාර වෛද්‍ය නිලධාරීන් රැසක් සේවය කරන බවත් ඔවුන් හෝ වෙනයම් නිලධාරියකු හෝ මේ සිද්ධිය පිළිබඳ මතෛක් තමන් දැනුම්වත් නොකළ බවත් මේ සම්බන්ධයෙන් සොයා බලන බවත් පැවසීය.
No comments:
Post a Comment